Wednesday, July 22, 2015

පරදින මැච් ගහන මම


මම දන්නවා මේ මැච් එක දිනන්න තියෙන ඉඩ බොහොම අඩුයි. ඒත් මම දිගටම බැට් කරනවා.

ඔයා මට කැමති වෙන්න තියෙන ඉඩ 0.1% ක් වුනත්, මම ඔයාට දිගටම ආදරය කරනවා. ඒ පෙරළා ඔයාගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

සමහර වෙලාවට අනාගතය ගැන හිතනකොට මගෙ පපුව ඇතුළෙන් දැවිල්ලක් එනවා.. සමහරු පපුව හෝස් ගාලා යනව කියන්නෙ ඒක වෙන්න ඇති. කවද හරි දවසක ඔයා කෙනෙක්ට ආදරය කරයි. ඒ කෙනා මම වෙන්න තියෙන ඉඩ අල්පයි. ඔයා මට ඔයාගෙ මඟුල් ගෙදරටත් ආරාධනා කරයි. මට එදාට වැටෙන්න බොන්න හිතෙයි සමහර විට. හැබැයි, මට එක්තරා උතුම් අරමුණක් තිබෙන නිසා මම බොන එකක් නෑ. කවුරුත් මගෙ වේදනාව දැනගන්න එකකුත් නෑ.

ඔයා ගැන හිතනකොට පපුවේ ඇතිවුන ඒ වේදනාවෙන් තමයි මම තේරුම් ගත්තෙ ආදරය දැනෙන්නේ හදවතට කියලා. ඒ නිසා ගණිතය ඉගෙනගත්, තර්කානුකූලව හිතන මම තීරණය කළා හදවතට ඇහුම්කන් දෙන්න. හදවත හරිම මෝඩයි තමයි. ඒත් මම දැන් විශ්වාස කරන විදියට මොළය තියෙන්නෙ, බුද්ධිය භාවිතා කරලා හදවතට අවශ්‍යය දේ ඉටුකරලා දෙන්න.

තර්කානුකූලව නම් කරන්න පුළුවන් හොඳම දේ ඔයාව අමතක කරල, ඔයාගෙන් ඈත් වෙන එක. පසුගිය අවුරුදු 2 විතර මම එහෙම කරන්න උත්සාහ කළත්, මට තේරුණා ඒකෙන් විඳවීම වැඩි වෙනවා විතරයි. ඔයා ගැන තරහක් ඇතිකරගන්න බෑ මට. ඒකෙන් රිදෙන්නෙ මාව මයි. ඉතිං මම තීරණය කරනවා ඔයා මට ආදරය කළත් නැතත්, දිගටම මම ඔයාට ආදරය කරන්න. ඔයා මොන තීරණය ගත්‍තත්, මගේ ආදරය  ඒ විදියටම තියෙයි. ලෝකෙ සමහරු ආදරය කළාට, ආදරය ලබන්න තරම් වාසනාවන්ත නැහැ.

No comments:

Post a Comment